ගුණතිලකගෙන් ටෙස්ට් ගැන තීරණයක්

2057

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඔහු සිය සමුදීම ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

2021 වසරේ ජුනි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අතරතුර Durham හිදී ජෛව ආරක්ෂිත බුබුලේ (Bio bubble) නීති කඩ කිරීමේ වරද නිසා ඔහුට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්වීමට සිදු වුනා.

කෙසේ නමුත් ගුණතිලක, මෙන්ඩිස් සහ දික්වැල්ල යන තිදෙනා වෙත පනවා තිබෙන එම ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ජුනි මාසයේ දී ලිහිල් වෙනවා.

2017 වසරේ දී ඉන්දියාවට එරෙහිව ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගන්නා ගුණතිලක සීමිත පන්දුවාර ක්‍රිකට් තරග රටාව සඳහා වැඩි අවධානයක් දීමේ අරමුණ ඇතිව මේ තීරණය ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මගේ රට නියෝජනය කරන්නට ලැබීම මට ලැබුණු ලොකු ගෞරවයක්. කෙසේ වෙතත් ඉදිරියේ දී මම ශ්‍රී ලංකාව වෙනුවෙන් සීමිත පන්දුවාර තරග සඳහා හොඳ සූදානමින් යුතුව ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. කණ්ඩායමට මගේ සේවාව අවශ්‍ය වන වෙලාවේ දී මම ඒ දේ කරන සූදානමින් ඉන්නවා”, යැයි ගුණතිලක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කළ ලිපිය සඳහා අදහස් දක්වා තිබෙනවා.

2017 වසරේ සිට 2018 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ගුණතිලක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 8ක දී අර්ධ ශතක දෙකක් ලබාගෙන තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<